පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 1 කොටස

ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩුකම් පෙන්වමින් ලිපි දෙකක්ම ලිව්ව නිසා මට හිතුන වෙන දෙයක් ගැන කතා කරන්න. ඔබ්ජෙක්ටිවිස්ම් වල අඩුපාඩු ගැන මුල ඉදලම රචනා පේළියක් ලියන්න අදහසක් තියෙනව. ඒත් ඒක පොඩ්ඩක් පැත්තකට තියල පශ්චාත් නූතනවාදය ගැන ලියන්න හිතුව. මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ්ජෙක්ටිවිස්ම් කියන්නෙ පශ්චාත් නූතනවාදයට වඩා හුගක් හොද දර්ශනයක්. ඉතින් ඒකෙ සමහර වැරදි ඉතා සියුම්. ඒ නිසා පශ්චාත් නූතනවාදය වගේ අමූලික ගොන්පාර්ට් එකකින් දේශපාලන දර්ශනයට බහින එක පාඨකයටත්, මටත් පහසුයි.

පශ්චාත් නූතනවාදය කියන්නෙ මොකද්ද කියන ප්‍රශ්නය අහන්න කලින් මම අහනව අපි දන්න පශ්චාත් නූතනවාදියෝ කවුද කියල. කටට එකපාට්ටම එන්නෙ දීප්ති කුමාරව වෙන්න ඇති. දීප්ති දන්න පශ්චාත් නූතනවාදයක් නැහැ. ඒ නිසා පහත දැක්වෙන්නෙ ප්‍රසිද්ධ පශ්චාත් නූතනවාදීන් කිහිපදෙනෙකුගෙ නම්,

  1. ඩෙරීඩා (Jacques Derrida)
  2.  ලියොටාර්ඩ් (Jean-Francois Lyotard)
  3. ෆෝකොල්ට් (Michel Foucault)

ඔය දීප්තිලගේ සගරාව එහෙම කියෙව්වානම් මේ නම් අහලත් ඇති. ඉතින් මේ අන්කල්ලා ටික මොනවද මේ අපිට නොතේරෙන භාෂාවකින් කියන්නෙ කියල පොඩිකාලේ මට ප්‍රශ්නයක් තිබුනා. අමාරුවෙන් අමාරුවෙන් මොකද්ද මේ කියන්නෙ කියල තේරුම් ගන්න උත්සහ කරපු මට පස්සෙ තමයි තේරුනේ මේ කියන කතා වල කිසිම තේරුමක් නැහැ කියල. පශ්චාත් නූතනවාදින්ට අනුව, මයිකල් ෆෝකොල්ට්ගේ වචන වලින්ම කියනවනම් “තර්ක, සත්‍යය හෝ දැනුම වෙනුවෙන් හෝ ඊට විරුද්ධව කතා කිරීම අර්ථ ශුන්‍යයයි” (“It is meaningless to speak in the name of – or against – Reason, Truth, or Knowledge”).

පශ්චාත් නූතනවාදින් සත්‍යය, තර්කය, දැනුම වගේ දේවල් තියනව කියල පිළිගන්නෑ. විශ්වය පිළිබද භෞතික විද්‍යාත්මක අදහසත්, ලෝකය තියෙන්නෙ ඉබ්බෙක්ගෙ පිටේ කියන මිථ්‍යා දෘෂ්ඨික අදහසත් ඔවුන්ට අනුව එකිනෙකට සමානයි. ඒවයින් එකක් අනිකට වඩා වැඩිපුර සත්‍යය වෙන්නෙ නැහැ. ඒවගේම නාසින් යුදෙව්වන් මරුවා කියල අපි කියන කතාවත්, එහෙම මැරුවේ නැහැ කියල අහ්මඩිනජාඩ් කියන කතාවත් එකිනෙකට සමානයි. ඒකෙන් එකක් අනිකට වඩා ඇත්ත වෙන්නෙ නැහැ. ඉතින් මට ආපු ප්‍රශ්නය තමයි, සත්‍යය කියල දෙයක් නැත්තම්, මොන මගුලකටද මම මේ මිනිස්සු කියන දේවල් අහන්නෙ කියල. මොකද මොවුන්ට අනුව මට හිතෙන ඕන දෙයක් මොවුන් කියන දේවල් තරමටම සත්‍යයි හෝ අසත්‍යයයි.

මේ ප්‍රශ්නය ගැන පශ්චාත් නූතනවාදින් නොදන්නවා නෙවෙයි. එක පැත්තකින් ඔවුන් කියනව සත්‍යයක් ගැන කතා කරන්න බැහැ කියල. ඒ කියන්නෙ අපි කියන කිසි දෙයක් යතාර්ථයයි කියල කියන්න බැහැ කියල ( ඇත්තටම ඔවුන්ට අනුව අපිට යතාර්ථයක් ගැන කතා කරන්න බෑ විතරක් නෙවෙයි, යතාර්ථයක් කියල දෙයක් නැහැ. මේ ගැන අපි පස්සෙ කතා කරමු ). අනෙක් අතට ඔවුන්ට ප්‍රශ්නයක් එනවා එහෙමනම් ඇයි කවුරුවත් ඔවුන් කියන දේවල් සත පහකට වත් ගනන් ගත යුත්තේ කියල. ඉතින් මිනිහෙක් ගනන් ගන්න දෙයක් ලියද්දි ඔවුන්ට සිද්ධ වෙනව තමන් යතාර්ථය පැහැදිලි කරන ස්වරූපයෙන් යමක් ලියන්න. අනික් අතට ඔවුන්ට කියන්න වෙනව තමන් ලියන දෙයට කිසිම සත්‍යයතාවක් නැහැ කියල. පශ්චාත් නූතනවාදය ගොන් පාර්ට් එකක් කියන්නෙ ඔන්න ඔය වගේ හේතු නිසා තමයි.

පශ්චාත් නූතනවාදයේ තියෙනව ඩීකන්ස්ට්‍රක්ෂන් කියල සංකල්පයක්. අපි ඒ මොකද්ද කියල පස්සෙ දවසක කතා කරමු. දැනට වැදගත් මෙන්න මේ කරුණ. පශ්චාත් නූතනවාදින් තර්කය (ඇත්තටම සිංහලෙන් තර්කය කියද්දි ඉංග්‍රීසියෙන් logic, reason, rationality යනුවෙන් හදුන්වන වචන තුනම හදුන්වනවා), සත්‍යය වැනි සංකල්ප ඩීක්න්ස්ට්‍රක්ට් කරලා ඉවර වෙලා කියනවා ඒවා බොරු පිස්සු විකාර කියල. මිනිහෙක් තර්කානුකූලනම් (reasonable/ rational), ඒ මිනිහට විශ්වාස කරන්න පුලුවන් දේවල් තියනව, බැරි දේවල් තියනව. මොකද මිනිහගේ විශ්වාස යතාර්ථයට සමපාත වෙන්න ඕන. යතාර්ථය තුළ මකරුන් නැත්තම් මිනිහට සිද්ධවෙනවා මකරු නැහැ කියල විශ්වාස කරන්න. හැබැයි පශ්චාත් නූතනවාදීන්ට අනුව ඕන කෙහෙම්මලක් විශ්වාස කරන්න පුලුවන්, මොකද යතාර්ථය කියල දෙයක් නැහැ. ඒවගේම තර්කය, සත්‍යාය කියන්නෙ පිස්සුවක්. ස්ටන්ලි ෆිෂ් කියන පශ්චාත් නූතනවාදියා කියන ආකරයට ඩීකන්ස්ට්‍රක්ෂන් “මට නිවැරදි වෙන්න තියෙන යුතුකමෙන් මාව මුදවනව. මට කරන්නෙ තියෙන්නෙ ඉන්ට්‍රස්ටින් පොරක් වෙන්න විතරයි” (“relieves me of the obligation to be right…and demands only that I be interesting.” මේක ජෝක් එකක් නෙවෙයි. මේක තමයි දීප්ති වගේ අයගේ දර්ශනය.

ඉතින් මේ ගොන් පාර්ට් දර්ශනය ගැන දීර්ඝ ලිපි පෙළක් පොත් කිහිපයක් මූලාශ්‍ර කරගෙන ලියන්න මම අදහස් කරනව. ඊළග ලිපියේදී ශතවර්ෂ කිහිපයකට පෙර සිට මේ පශ්චාත් නූතනවාදයේ අඩිතාලම ගැන කතා කරමු.

2 thoughts on “පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 1 කොටස

ප්‍රතිචාරයක් ලබාදෙන්න