පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 4 කොටස – මාක්ස්වාදයේ බිද වැටීම

ඇයි මම මේ ලිපි මාලාව ලියන්නේ? මේ ලිපි මාලාව ලිවීමේ එකම අරමුණ ලංකාවෙන් පශ්චාත් නූතනවාදී අදහස් තුරන් කරල දාන එක නෙවෙයි. මොකද ලංකාවේ පශ්චාත් නූතනවාදය එතරම් ප්‍රචලිත නැහැ. මීට අවුරුදු හත අටකට කලින් දීප්ති කුමාර ගුණරත්න ලංකාව තුළ පශ්චාත් නූතනවාදය ප්‍රචලිත කළත් ඒක වැඩි කාලයක් රට තුළ රැදුන දෙයක් නෙවෙයි. ඔහුගේ ෆේස්බුක් පිටුවට likes නැති කමෙන්ම ඒක පේනව. ඉතින් එහෙමනම් මොකටද මම මේක කරන්නේ?

මට අවශ්‍යය ලංකාව ග්‍රහණය කරගෙන ඉන්න, එහෙම නැත්තම් කාලයක් ලංකාව ග්‍රහණය කරගෙන හිටපු, කිසිම වැදගැම්මකට නැති දර්ශන වලට පහර දීම. උදාහරණයක් විදිහට මේ ලිපි මාලාව කියවගෙන යන විට ඔබට තේරෙයි පශ්චාත් නූතනවාදී දර්ශනය නලින් ද සිල්වා ගේ දර්ශනයට කොච්චර සමානද කියල. නලින් ද සිල්වාගේ දර්ශනය ඊළග ලිපිමාලව හරහා සාකච්ඡාවට භාජනය කරන්න මම බලාපොරොත්තු වෙනව. ඉතින් මේ ලිපි පෙළ ලිවීමෙහි අරමුණු වලින් එකක් තමයි එම ලිපි පෙළට අඩිතාලමක් සැපයීම. ඒ වගේම අද අපේ මාතෘකාව වෙන්න මාක්ස්වාදය.

මාක්ස්වාදය යනු අර්ථික පන්ති පිළිබද විශ්ලේශණයක්. ඔවුන්ට අනුව ශක්තිමත් පන්තිය හා දුර්වල පන්තිය නිරන්තර ආර්ථික අරගලය යෙදිලයි ඉන්නෙ. ඒත් ඒක්කම මාක්ස්වාදින් කිව්වා මේ අරගලයෙන් හැමදාම ශක්තිමත්, ධනවත් පන්තිය දිනනව, දුර්වල, දුප්පත් පන්තිය එන්න එන්න තව තවත් දුර්වල වෙනව කියල. එනම්, මාක්ස්වාදින්ට අනුව, සමාජයේ කුඩා කොටසක් එන්න එන්න තව තවත් ධනවත් වන අතර, අනෙක් විශාල කොටස එන්න එන්න දුප්පත් වෙනව. ඒවගේම මාක්ස්වාදින් හිතුවා මැද පන්තිය කියන එක ස්ථාවර එකක් නෙවෙයි කියල. පන්ති අරගලයෙහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ගෙන් කුඩා කොටසක් ධනවත් පන්තියට යන අතර, අනෙක් විශාල කොටස දුප්පත් පන්තියට යනව කියල ඔවුන් විශ්වාස කළා. ඒ අනුව, මෙම පන්ති විශ්ලේෂණය පැහැදිලි අනාවැකි කිහිපයක් පළ කළා. ස්ටීවන් හික්ස් ඒවා පහත පරිදි දක්වනවා.

  1. දුප්පත් පන්තිය ප්‍රතිශතයක් ලෙස එන්න එන්න ඉහළ යන අතර, එන්න එන්න තව තවත් දුප්පත් වෙනව: ධනවාදී තරගය පවතින්න පවතින්න, වැඩි වැඩියෙන් මිනිසුන් තම ශ්‍රමය විකුණන්න පෙළබෙනව. ශ්‍රම සැපයුම වැඩි වීම නිසා, ඔවුන්ට ලබා ගත හැකි පඩිය අඩු වෙනව.
  2.  මැද පන්තිය ප්‍රතිශතයක් වශයෙන් ඉතා කුඩා කණ්ඩායමක් බවට පත් වෙනව: ධනවාදී තරගයේ ප්‍රතිපලය තමයි සමාජයේ ඉන්නෙ ජයග්‍රාහකයන් හා පරාජිතයන් පමණයි. කුඩා පිරිසක් පිට පිට ජයග්‍රහණය කිරීම හරහා ධනවතුන් බවට පත් වුනත්, බහුතරයක් මේ තරගයෙන් පරාජය වෙලා දුප්පතුන් බවට පත් වෙනව.
  3. ධනවතුන් පිරිසත් ප්‍රතිශතයක් ලෙස එන්න එන්න අඩු වෙනව: මේක තරගයක් නිසා, එය පිට පිට ජයග්‍රහණය කරන කුඩා පිරිසක් බිහි කරන අතර අනෙක් පිරිස ආර්ථික  ඉනිමග දිගේ පල්ලෙහාට යවනව.

ඒත් ඉතින් මේ අනාවැකි එකක් වත් හරි ගියෙ නැහැ. මාක්ස් හිටියනම් වහ කයි. මාක්ස් මේ අදහස් ඉදිරිපත් කළේ දහනව වන සියවසේ මැද භාගයේ. ඒත් විසිවෙනි සියවසේ මුල් කාලය වෙනකොට මාක්ස්වාදින්ටම තේරිලා තිබුනා මේ කියන කිසි දෙයක් හරියන් නැහැ කියල. දුප්පත් පන්තිය ප්‍රතිශතයක් විදිහට අඩුවුනා මිසක් වැඩි වුනේ නැහැ. මැද පන්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. ධනවත් පන්තියත් මාක්ස් කිව්වා වගේ කුඩා වෙනව වෙනුවට වර්ධනය වුනා. රටවල් සමස්තයක් වශයෙන් ධනවත් වුනා. මේක ඇත්තටම මාක්ස්වාදයට මරු පහරක්. මොකද මාක්ස් මාක්ස්වාදය දැක්කේ දර්ශනයක් හෝ දෘෂ්ඨිවාදයක් විදිහට නෙවෙයි, නියම විද්‍යාවක් කියල. නිවැරදි අනාවැකි කියන්න බැරිනම්, මාක්ස්වාදය කියන්නෙ විද්‍යාවක් නෙවෙයි.

මේ න්‍යායාත්මක අර්බුදය තමයි අන්තිමට හේතුවුනේ ලෙනින්, ට්‍රොට්ස්කි වගේ විද්වතුන් විසින් මෙහෙයවන ලද රුසියානු විප්ලවයට. මේ විප්ලවය කොහෙත්ම මාක්ස්වාදී විප්ලවයක් නෙවෙයි. ඇයි මම එහෙම කියන්නෙ? මාක්ස්ට අනුව, දුප්පත් පන්තිය ප්‍රතිශයක් ලෙස එන්න එන්න වර්ධනය වෙනව. ඒත් එක්කම ඔවුන් එන්න එන්න දුප්පත් වෙනව. මේ නිසා ඔවුන්ට දැඩි අසහනයක් ඇති වෙනව. ඔවුන් කලබල කරන්න පටන් ගන්නව තමන්ට තිබෙන ආර්ථික පීඩනය දරාගන්න බැරිකම නිසා. මේ කලබල කිරීම විප්ලවයක් දක්වා වර්ධනය වෙලා ධනවාදී ක්‍රමය විනාශ කරල කොමියුනිස්ට් රාජ්‍යය බිහි කරනව. එතකොට මේ විප්ලවය කරන්නේ ලෙනින් වගේ සමාජයේ ඉහළ මට්ටමක ඉන්න විද්වතුන් නෙවෙයි, නූගත්, දුප්පත්, දුප්පත් පන්තියෙ ජනතාව.

නමුත් විසිවෙනි සියවස මුල වෙනකොට මාක්ස්වාදින් දැඩි න්‍යායාත්මක අර්බුදයක හිටියෙ. මාක්ස්ගේ අනාවැකි එකක් වත් හරියන පාටක් නැහැ. විප්ලවය පටන් ගන්න පිරිස යැයි හිතපු දුප්පත් පන්තියට පන්ති අරගලයක් ගැන සත පහක හැගීමක් වත් නැහැ. මාක්ස්වාදින්ට මේ අනුව තේරුම් ගියා කවදාවත් දුප්පත් පන්තියේ එවුන් විප්ලවයක් පටන් ගන්නෙ නැහැ කියල. මේ අර්බුදයෙන් ගොඩ එන්න මාක්ස්වාදින් පිළියමක් හොයා ගත්තා. ඒ තමයි, විප්ලවය පටන්ගන්න නම්, විදග්ධ බුද්ධිමතුන් පිරිසක් මේ නූගත්, දුප්පත් මිනිස්සු පන්තියට නායකත්වය දෙන්න ඕන කියල. 1917 රුසියානු විප්ලවයට පෙර, වී.අයි. ලෙනින් ආදින් මාක්ස්වාදයට කරපු ප්‍රධානම වෙනස්කමක් තමයි ඕක.

හැබැයි ලෙනින්වාදය මාක්ස්වාදයෙන් වෙනස් වෙන්නේ ඕක නිසාම නෙවෙයි. තව වෙනස්කම් කිහිපයක් තියනව. ලෙනින් ජීවත් වුනේ ධනවාදී එංගලන්තයේ, ඇමරිකාවේ, ප්‍රංශයේ හෝ ජර්මනියේ නෙවෙයි, වැඩවසම් රුසියාවේ. ඉතින් රුසියාවේ දුප්පතුන්ගේ අමාරුකම් වලට ධනවදයට බනින්න බැහැ. ධනවාදී රටවල දුප්පත් පන්තිය අරගල නොකිර්‍රිමට හේතුව වශයෙන් ලෙනින් දැක්වූයේ ඒ රටවල ධනවාදින් දුප්පත්කම දක්ෂ ලෙස ඌන සංවර්ධිත රටවල් වලට අපනයන කරලා තිබීම. හැබැයි රුසියාවේ ප්‍රශ්න මේ හරහා පැහැදිලි කරන්න විදිහක් නැහැ.

මාක්ස්වාදයට අනුව සමාජවාදී විප්ලවය ඇතිවෙන්නේ ධනවාදය උපරිමයට පරිණත වෙලා, කාර්මික දුප්පත් පන්තියක් හැදිලා, ඒ දුප්පත් පන්තියට පන්ති විඥාණයක් ආවටත් පස්සේ. ඒත් රුසියාව තාමත් වැඩවසම් යුගයේ. ඔය කියන විදිහට විප්ලවයක් වෙනකම් ඉන්නව කියන්නෙ මුලින්ම ඔවුන්ට සිද්ධ වෙනව රුසියාවට ධනවාදය එනකම් බලන් ඉන්න. ඊට පස්සෙ ඔවුන්ට සිද්ධ වෙනව ඒ ධනවාදය පරිණත වෙනකම් බලන් ඉන්න. සමාජවාදය ඇති වෙන්නෙ ඊටත් පස්සේ. ඉතින් ඒකට ශතවර්ෂ ගානක් ගත වෙනව. එතකොට ලෙනින් මැරිල, සොහොන උඩ ගසුත් පැළ වෙලා. මේ නිසා තමයි ලෙනින් තීරණය කළේ රුසියාව වැඩවසම් යුගයේ සිට, ධනවාදී නොවී, කෙළින්ම සමාජවාදී විය යුතුයි කියල. නමුත් ධනවාදයේ වගේ සංවිධානාත්මක, පන්ති විඥාණයක් සහිත දුප්පත් පන්තියක් වැඩවසම් රුසියාවේ නැති නිසා, ලෙනින් තීරණය කළා මේ විප්ලවයට උගත් විද්වතුන් සුලු පිරිසක් නායකත්වය දීලා, දුප්පතුන්ගෙ ආඥාදායකත්වයක් ඇති කළ යුතුයි කියල.

1917 දී රුසියාවේ සිදුවුන බොල්ෂෙවික් විප්ලවය විතරක් නෙවෙයි, 1920 දී චීනයේ මාඕ සේතුං පිළිගත්තෙත් මේ දර්ශනය. මාඕ රුසියාව හැදින්නුවේ නොම්මර එකේ ශිෂ්ඨාචාරගත රාජ්‍යය කියල. මාඕ තේරුම් ගත්තා චීනයේ තත්වයත් රුසියාවට බොහෝ දුරට සමානයි කියල. චීනය රුසියාවටත් වඩා අන්ත වැඩවසම් රටක්. ඉතින් මාඕ තීරණය කළා චීනයත් වැඩවසම් යුගයේ සිට සමාජවාදය දක්වා ගමන, ධනවාදය හරහා යන් නැතුව කෙළින්ම යා යුතුයි කියල. ඒත් එක්කම ඒකට නායකත්වය විද්වතුන් විසින් දෙනු ලැබිය යුතුයි කියල. මාඕ මාක්ස්වාදී දර්ශයට තවත් පොඩි වෙනස්කමක් කළා. සාම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව සමාජවාදී විප්ලවය වෙන්නේ කාර්මික, තාක්ෂණික රටක, පන්ති විඥාණයක් සහිත දුප්පත් පන්තිය කැරළි ගැසීම හරහා. නමුත් චීනය කාර්මික, තාක්ෂණික රටක් නෙවෙයි. වැඩවසම්, කෘෂිකාර්මික, නූගත් රටක්. ඒ නිසා මාඕ තීරණය කළා විප්ලවය විය යුත්තේ මාක්ස් කියන පරිදි තර්කය හරහා නෙවෙයි, විශ්වාසය හා අධිෂ්ඨානය හරහා කියල.

ඉතින් මේ වෙනකොට මාක්ස් ඉදිරිපත් කරපු සම්භාව්‍යය මාක්ස්වාදය සම්පුර්ණයෙන්ම බිද වැටිල ඉවරයි. ඊළග ලිපියේදී අපි රුසියාවේ හා චීනයේ සමාජවාදයට වෙච්ච දේත්, යුරෝපයේ හා ඇමරිකාවේ සමාජවදයට වෙච්චදේත් ගැන කතා කරමු.