පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 3 කොටස – නූතනවාදී දේශපාලනික, විද්‍යාත්මක හා තාක්ෂණික වෙනස්කම්

කළින් කිව් පරිදී නූතනවාදී චින්තනය තර්කය (reason) මුලික කරගත්ත එකක්. ඒක විශ්වාසය හා සම්ප්‍රදාය මූලික කරගත් පුර්ව නූතනවාදී යුගයත් එක්ක සන්සන්දනය කරද්දි ලොකු වෙනසක්. මේ වෙනස දේශපාලනයටත්, විද්‍යාවටත් විශාල බලපෑමක් ඇති කළා කියල කියන්න පුලුවන්. නූතනවාදින් දැක්කා තර්කනය කියන්නෙ තනි පුද්ගලයෙක්ට තියන හැකියාවක් කියල. ඒක සමාජයට තියන හැකියාවක් නෙවෙයි. ඒ නිසා නූතනවාදින් සමූහවාදයට විරුද්ධ පුද්ගලවාදින්. ජෝන් ලෝක්ගේ අ ලෙටර් කන්සර්නින් ටොලරේෂන් (1689), සහ ටූ ට්‍රීටිසස් ඔෆ් ගවර්න්මන්ට් (1690) කෘති ඉතාවැදගත්, පුද්ගලවාදය ස්ථාපිත කරපු පොත්. තව කෙනෙකුගේ තීරණ ගැනීමට හා ක්‍රියාකාරකම් වලට බාධා කිරීම වැලැක්වීම, දේශපාලනික සමානත්මතාවය(ආර්ථික නෙවෙයි ), රජයේ බලතල අවම කිරීම, පුද්ගල අයිතිවාසිකම් ආදිය නූතනවාදින්ට ඉතා වැදගත් වුන සංකල්ප.

මේකෙ ප්‍රතිපලය වුනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ලිබරල්වාදය යනු පුද්ගල නිදහස ස්ථාපිත කරන දේශපාලන දර්ශනය. ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන බලය පාලකයන් අතින් ගලවල පොදු ජනයාට ලබාදෙන ප්‍රතිපත්ති සෑදීමේ ක්‍රියාවලිය. පුද්ගලවාදය ශක්තිමත් වෙන්න වෙන්න වැඩවසම් අදහස් මැකිලා ගියා. 1688 එංගලන්තයේ ලිබරල් විප්ලවයක් ඇති වුනා. එවැනිම විප්ලව 1776 ඇමරිකාවෙත්, 1789 ප්‍රංශයෙත් ඇති වුනා. මේ සියල්ලම රාජකීය රදලයන්ගෙ අතින් පාලනය ජනතාව අතට ගත්ත විප්ලව. ඒත් එක්කම ලිංගික සමානාත්මතාවය, ජාතින් අතර සමානාත්මතාවය, වහලුන් පවත්වාගැනීම සදාචාර විරෝධීභාවය ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. අද මේවා සාමාන්‍යය සංකල්ප වුනත් මේවා මුලින්ම ඉදිරිපත් කරපු කාලේ ඉතා විප්ලවීය අදහස්.

පුද්ගලවාදය ආර්ථික විද්‍යාව තුළ ක්‍රියාත්මක වුනේ ධනවාදය හා නිදහස් වෙළදපල විදිහට. ධනවාදයේ මූලික අදහස වුනේ තමන්ට කැමති පරිදි නිෂ්පාදනය, පරිභෝජනය සහ වෙළදාම පිළිබද තීරණ ගන්න නිදහසක් පුද්ගලයාට තිබිය යුතුයි කියන අදහස. පුද්ගලවාදයේ නැගීමත් සමග වෙළදාම පිළිබද වැඩවසම් අදහස් හා වෙළදවාදී (mercantilist) අදහස් පරාජය වුනා. මේ යුගයේ පළවු ඉතා වැදගත් ආර්ථික විද්‍යාත්මක කෘතිය වුනේ ඇඩම් ස්මිත්ගේ වෙල්ත් ඔෆ් නේෂන්ස් (1776) කෘතිය. මේ හරහා රටවල් විශාල වශයෙන් ධනවත් වුනා. 1830 සිට 1860 අතර දක්වා අවුරුදු 30 දී එංගලන්තයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම දෙගුණයකින් වැඩිවුනේ ධනවාදයේ නැගීම හරහා.

විශ්වාසයට වඩා තර්කය වැදගත් කියන අදහස හේතු වුනා මේ යුගයේදී සිදුවුන විද්‍යාවේ හා ගණිතයේ නැගිටීමට. අයිසැක් නිව්ටන් 1666 දීත්, ගොට්ෆ්‍රිඩ් ලීබ්නිස් 1675 දීත් එකිනෙකාගෙන් ස්වායක්තව අවකලනය සොයාගත්තා. ක්වොන්ටම් භෞතික විද්‍යාව හා සාපේෂතාවාදය නිර්මාණය වෙනකන් ශතවර්ෂ තුනක් තිස්සේ භෞතික විද්‍යාවේ අඩිතාලම වුන නිව්ටෝනීය භෞතික විද්‍යාව නිර්මාණය වුනෙත් මේ කාලේ. ඒ නිව්ටන් 1687 දී ප්‍රින්සිපියා මැතමැටිකා ග්‍රන්තය පළ කිරීමත් සමග. ඒත් එක්කම ලැවොසියර්, ලැප්ලාස්, ඩාර්වින් ආදින් දහ අට හා දහනව වන සියවස් වල විශාල සොයාගැනීම් සිදු කලා.

ඒත් එක්කම සිදුවුන වෙනස තමයි තාක්ෂණයේ දියුණුව. ඉංජිනේරු විද්‍යාවේ සිදුවුන වර්ධනය හරහා මේ ලිබරල් ධනවාදී රටවල් වලට තවතවත් ධනවත් වෙන්න හැකියාව ලැබුනා. දහ අටවන සියවසේ සිදුවුන කාර්මික විප්ලවය මෙතනදි වැදගත් වෙනවා. ජේම්ස් වොට්, සැමුවෙල් ක්‍රොම්ප්ටන් ආදී ඉංජිනේරුවන් අලුත් අලුත් යන්ත්‍ර නිපදවූවා. මේ හරහා දැවැන්ත කර්මන්තශාලා ඇති වුනා. මේ කර්මාන්තශාලා වල වැඩ කරන්න ගම්මාන වල සිට මිනිස්සු නගරයට ඇදුනා. මේ හරහා තමයි එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල දැවැන්ත නාගරීකරණයක් හා කාර්මීකරණයක් ඇති වුනේ.

හැබැයි එක දෙයක් කියන්නම ඕන. ඒ තමයි මේ කර්මාන්තශාලාවල වැඩ කරපු සේවකයින්ගේ ජීවිත හරිම අපහසු ජීවිත. ඔවුන්ට ලැබුනේ ඉතා අඩු පඩි. ඒත් එක්කම විශාල ලෙස වැඩ කරන්න ඔවුන්ට සිද්ධ වුනා. චාර්ල්ස් ඩිකන්ස් නවකතා ලිව්වේ යම් ප්‍රමාණයකට මේ සමාජ අසාධාරණය පෙන්නුම් කරන්න. අනෙක් අතට කාර්ල් මාක්ස් හිතුවා මේ හරහා කොමියුනිස්ට් විප්ලවයක් වෙයි කියල. ඔහු වැරදියි. ඒත් අපි ඒ ගැන පස්සෙ කතා කරමු.

ඒත් එක්කම සිදුවුන විශාල වෙනසක් තමයි වෛද්‍යය විද්‍යාවේ දියුණුව. ලෙඩ රෝග පිළිබද තිබුණු අද්භූත අදහස් අත ඇරලා, විද්‍යාත්මක පදනමක ඉදල වෛද්‍යය විද්‍යාව දියුණු වෙන්න පටන් ගත්තේ මේ කාලේ. මේක ඉතා විශාල වෙනසක් වුනා. උදාහරණයක් ලෙස ලන්ඩනයේ ළමා මරණ ප්‍රතිශතය 1730 සිට 1810 අතර කාලයේදී සියයට හතළිහකින් පමණ අඩුවුනා.

ඉතින් පශ්චාත් නූතනවාදය විසිවෙනි සියවසේදී බිහි වුනේ මේ රටවල් එන්න එන්න ධනවත් වෙන, එන්න එන්න නිදහස් වෙන, මිනිස්සුන්ගේ ජීවිත කාලය එන්න එන්න වැඩිවන, ඉතා සුභදායි කාලයක ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් විදිහට. ඇත්තටම මාක්ස්වාදය, ලේනින්වාදය, ට්‍රොට්ස්කිවාදය ආදි සියල්ලම නූතනවාදය තුළ රැදී සිට විශාල වෙනසක් කරන්න උත්සහ කරපු වාමවාදී දර්ශන. ඔවුන් පිළිගත්තේ නැත්තේ නූතනවාදය තුළ තිබුන පුද්ගලවාදයත්, ඒ හරහා ඇතිවුන ධනවාදයත් පමණයි. ඔවුන් කවදාවත් ධනය නරකයි කිව්වේ නැහැ. තර්කනය බොරුවක්, අනවශ්‍යය දෙයක් කිව්වෙ නැහැ. නමුත් ප්‍රශ්නය වුනේ මේ සියල්ල අන්තෙටම අසාර්ථක වීම. පශ්චාත් නූතනවාදය යනු මේ අර්බුදයෙන් වාමවාදය බේරගන්න ඇතිවුන වාමවාදී දර්ශනයක්. ඔවුන් ඒක කරන්න හැදුවේ නූතනවාදී දර්ශනයේ උඩ සිට පහළටම පහරදිලා. ඒ කියන්නෙ තර්කය පවා අයින් කරල දාලා. මොකද ඔවුන් තේරුම් ගත්තා තර්කය හරහා වාමවාදය ගොඩගන්න බැරිනම්, කරන්න තියන එකම වැඩේ තර්කනය නොපිළිගැනීම කියල. ඉතින් මේ පශ්චාත් නූතනවාදයේ ස්වභාවයත්, එහි ශතවර්ෂ කිහිපයක් පුරා දිවෙන දාර්ශනික ඉතිහාසයත් ගැන අපි ඉදිරි ලිපි වලදී කතා කරමු.

Advertisements

2 thoughts on “පශ්චාත් නූතනවාදය නම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 3 කොටස – නූතනවාදී දේශපාලනික, විද්‍යාත්මක හා තාක්ෂණික වෙනස්කම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )